Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


නීතිඥවරුන් සිය වාහන අධිකරණ භූමියට ගැනීම සහ ගැටුම් ඇති කර ගත්තේ අද ඊයේ නොවේ..! 


2025-10-13 14872

 

(රජිත් කීර්ති තෙන්නකෝන්)

 

සිය පුතා වූ නාමල් රාජපක්ෂ, නව නීතිඥවරයෙකු ලෙස දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගිවීමට අනෙකුත් දෙමාපියන්, නෑදෑයින් ලෙසම එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එම මැතිනිය ද අලුත්කඩේ ට පැමිණියහ.  30 වසරට යුද්ධය නිමාකළ නායකයා ද, ලක්ෂ 18 ක් වැඩි ඡන්ද ලබා ජනපති ධූරයට පත් වූ මහින්ද රාජපක්ෂ හා පවුලේ ආරක්ෂාව වෙනුවෙන් එම ස්ථානයේ විශේෂ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක විය.  

2011 නාමල් දිවුරුම් දුන් දිනයේ දී, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ට සිය වාහන වෙනත් තැනක නවතා උසාවි භුමියට පයින් ඇවිද යාමට සිදු විය. ඔවුන්ගෙන් බහුතරය කැමැත්තෙන් ද, තවත් අය අකමැත්තෙන්, සිතින් බැන බැන ද උසාවි ගියෝය. එතනට ගියේය. සමහරුන් යුද්ධය අවසන් කළ නායකයා, රාජ්‍ය නායකයා ගැන සිතා තමන්ට සිදු වන පීඩාව විඳගත්තෝය. නාමල් ට සුබ පතන්නට අගවිසුරු පමණක් නොව අධිකරණ අමාත්‍යවරයා ද, කැබිනට් මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් ද එක්වූහ. එය සුවිශේෂ අවස්ථාවක් විය..! 

එම අවස්ථාවේ දී, අනුර කුමාර දිසානායක මහතා ගේ අද කලණ මිතුරු උපුල් කුමරප්පෙරුම මහතා  එතැන දැවැන්ත ගෝරියක් දමා නීතිඥ වාහන අවහිර කිරීමට විරෝධය දැක්වීය. උපුල්  අදහස් ප්‍රකාශ කළ ආකාරය විඩියෝ ගතවී නැත.  මට ඇසුනේ නැති නිසා එය ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරය  අම්බලන්ගොඩ ද, රත්ගම ද, මාතර දැයි නිශ්චිතව කිව නොහැකිය. සුනිල් වටගල, ගුණරත්න වන්නිනායක කතා කළ භාෂාව මට යම් මතකයක් ඇති නමුත් එය මෙහි ලියන්නේ ද නැත. මිනිසුන් සටන් කර ආකාරය එකිනෙකට වෙනස් ය. ආවේනිකය.

මේ මහින්ද රාජපක්ෂ ‘රජෙකු ලෙස සැලකුණු’ යුගයේ දී ය. වාහනය අධිකරණ භුමියට ගැනීමට ඉඩ නොදීම ගැන එදා ද නැගී සිටින්නට තනි නීතිඥයෙක් -- උපුල් කුමරප්පෙරුම -- සිටියේය. ටික වේළාවකින් එය බලපෑම්කාරී විරෝධයක් විය! (එවකට උපුල් ජනාධිපති නීතිඥවරයෙකු හෝ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු නොවූ අතර අනුර කුමාර ගේ මිතුරෙකු ද නොවීය.  වන්නිනායක මෙන් නීතිඥ සංසදයක නිලයක් හෝ නොදැරුවේය.)

මිනිස්සුන්ට තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටින්නට අති මහත් ශක්තියක් - පෞර්ෂයක් - ධෛර්යක් අවශ්‍යය. මහින්ද රාජපක්ෂ යුගයේ කැන්ගරු උසාවිය නඩු අසා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් ඉවත් කරන විට වන්නිනායක - උපුල් ජයසූරිය - ශිරාල් එදා එජාප සජිත් කණ්ඩායමේ ය. ශ්‍රී නාත් පෙරේරා සමාජවාදී පක්ෂයේ ය. , සුමන්දිරන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ ය. සුනිල් වටගල ජවිපෙ ය.  වැලිඅමුණ තවත් තැනකය.  ජයම්පති වික්‍රමරත්න, ලාල් විජේනායක සම සමාජ කාරයින් ය.  අවස්ථාව අනුව නැගී සිටීමට දේශපාලන පක්ෂයක් අදාලම නැත.    නීතිඥ වෘත්තිකයෝ අර්බුදයක දී අයුක්තියට එරෙහිවන්නෝමය.   

යහපාලනය ආණ්ඩුව බිහි වී අගවිනිසුුරු මොහොන් පීරිස් ඉවත් කර, නැවත ශිරාණි බණ්ඩාරනායක පත් කරන තෙක් අලුත්කඩේ උසාවි භුමිය අසල ඇති වූ තත්වය ද, එයම ය. එතනට රැස්වූ කිසිදු ලොක්කෙක් වන්නිගේ නායකත්වයට පිටින් කිසිමක් කළේ නැත.  සැමදාම පාරේ සටන බේරා ගැනීමේ වගකීම තිබුණේ ඔහුටමය.  

ප්‍රශ්ණයක් ගැටළුවක් අවස්ථාවක් උද්ගත වූ විට එයට එරෙහිව සටන් කිරීම ශක්තිය තීරණය වන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාටය. 1990 – 1994 නිල නොවන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ‘ෆයිටින් ස්පිරිට් එක’ මා දැක ගත්තේ ඇත. නිල විපක්ෂ නායකයින්ගේ ‘ෆයිටින් ස්පිරිට් එක’ ද මා දැක ඇත. ගල්කිස්ස උසාවි භුමියේ දී වන්නිනායකගේ කතාවට ගැන විඩියෝ සාක්ෂියක් තිබේ.  

‘මම වාහනේ ගන්න කිව්වා. මට අනං මනං කිව්වා. මම දෙකක් ඇන්නා’ -- විඩියෝවේ ඇති නිසා කතාව පැහැදිලිය. මෑතක දී, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසූවේ අධිකරණය විධායකයේ බලපෑමෙන් මිදිය යුතු වා සේම, සමාජ ජනප්‍රියවාදයේ බලපෑමෙන් ද මිදිය යුතු බවය.  සමාජ මාධ්‍යයේ නඩු ඇසීම වෙනම වැඩකි. සමාජ මාධ්‍යයේ ඡන්දයක් පවත්වා හරි වැරැද්ද තීරණය කිරීමට වෙනත් වැඩකි. ආණ්ඩුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිපත්ති තීරණය කිරීම ලාමක වැඩකි.  අද ලොකුම අමාරුවේ වැටී ඇත්තේ මාලිමාවට හිතවත් නීතිඥවරුන් ය. 

ගුණරත්න වන්නිනායකට ඊයේ ගල්කිස්ස පොලීසියේ පෙනී සිටින ලෙස දන්වා තිබූ නමුත් මේ දක්වා ඔහු එහි ගොස් නැත. පොලීසිය ප්‍රහාරයට ලක් වූ වින්දිත නීතිඥයාගේ ද, සාක්ෂිකරුවෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥයාගේ ද නිවෙස්වලට ගොස් ඇත. නීතිඥයාට පහරදීමේ නඩුවේ පැමිණිලිකරු පොලිස් දෙපාර්තමේන්තුවයි.  බී වර්තාව ලියා ඇත්තේ ද පොලීසියයි. දැන් විත්තිකාර පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටින්නේ ද පොලීසියයි. මෙය ලංකා ඉතිහාසයේ සුවිශේෂී නඩුවක් වන අතර, සිස්ටම් චේන්ජ් එකකි.  

සිස්ටම් චේන්ජ් එක ගල්කිස්ස විවෘත අධිකරණයේ දී අද දැක බලාගත හැකිය. 2022 අරගල සමයේ පටන් මේ ආණ්ඩුව බලයට පත් කර ගැනීම දක්වා  නීතිඥවරුන් දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළහ.  ආණ්ඩුව දැන් ඔවුන්ගේ වාහන ස්ටිකර් ගලවමින් ද, විනිසුරුවරුන් හතර අත මාරු කරමින් ද, ලංකා ඉතිහාසයේ අධිකරණයට එල්ලවන දැඩිම පීඩනය එල්ලකරමින් ද සිටී. නීතිඥ ප්‍රජාවට ලබාදුන් පොරොන්දු, බලාපොරොත්තු ඉටු නොකිරීම ගැන ඔවුන්ගෙන් බහුතරය සිටින්නේ අතෘප්තියෙන් හා කෝපයෙනි. ඒ බව වඩාත් හොඳින් දන්නෝ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හා තනතුරු දරන නීතිඥයින්ය. 

දැන්, රටේ ප්‍රභුන්ට එරෙහිව වපුරනු ලැබූ වෛරය අද කළුකෝට්කාරයින්ට විරුද්ධව ගොනු වෙමින් ඇත. සංවිධානාත්මක ෆෙක් බුක් බලකාය, ගුණරත්න වන්නිනායක සජිත් ප්‍රේමදාස සමඟ දේශපාලනය නොකරන බව දැන දැනම, සජබ නීති ලේකම් යැයි කියන්නේ ඒ නිසාය.  එංගලන්න සංචාරය ගැන රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වන දිනයේ උදේවරුවේ ද වන්නිනායක සිටියේ රනිල් ගේ දේශපාලනය විවේචනය කරන ස්ථාවරත්වකය.  රනිල් අත්අඩංගුවට පත් වූ බව දැනගත් වහාම ඔහු සියල්ලට පෙර අධිකරණයට පැමිණියේ ය.  උසාවියේ රනිල් වෙනුවෙන් පෙනී සිටියේය.  ඒ ඔහුගේ හැටි ය. නායකයෙකු ගේ ගුණාංගය වන්නේ ‘ෆයිටිං ස්පිරිට් එක’ මතය. එවැනි අනන්‍ය හා සුවිශේෂ වූ ගුණාංග ඌණ පුද්ගලයින්ට උසාවිය නඩු අසා අවසන් කරන තුරු, බුකියේ අයට නඩු විමසා තීන්දු ලියන්නට ද කාලය ඇත.

Advertiesment